- See more at: http://www.mybloggerwidgets.com/2013/10/add-facebook-activity-feed-widget-to.html#sthash.ZOATl1ty.dpuf

Jun 6, 2014

ලංකාවේ ජනප්‍රියම සමලිංගික ප්‍රේම ගීත තුන

uputaaganimaki

යමුනා මාලනී පෙරේරා කිවිඳිය අතින් ලියැවුණ ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයි දැයි නොදන්නෙමි ගීතයෙන් කියැවෙන්නේ සමලිංගිකයන් අතර ආදරක් ගැන කියලා දන්නේ කීයෙන් කී දෙනාද.

කරුණාරත්න දිවුල්ගනේ ගායකයා ගයන ගුනදාස කපුගේ අතින් සංගීත්වත් වුණු මේ අපූර්ව ගීතය හැමදාමත් ගොඩක් ආසාවෙන් ඇහුවට මෙච්චර කාලයකට ඒ ගීතයේ පද අරුත් ගැඹුරින් සෙව්වෙ නෑ.

යමුනා මාලනී මේ සඳහා යොදා තිබෙන ගේය පදයන්හී යටි පෙළ අරුත වචනයෙන් වචනය විමසන්නට වන විට මේ සමරිසි ප්‍රේමයක් ගැන කියැවෙන අති විශිෂ්ට ගනයේ සාහිත්‍යමය ප්‍රතිභාවක් පෑ ගීතයක් බව කියන්න මැලිකමක් නම් නෑ. එච්චරටම ඒ අදහස යටි පෙළෙන් පමණක් ඉසමතු කර වන්නට ඇය පෑ දක්ෂ තාවය ගැන පුදුමත් හිතෙනවා.

ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳී කාරණේ මම
තවම නොදන්නෙමි

ගහක මල් පිපීම අරුමක් නොවේ... ඒත් ඒ මට අරුමයකි.. කෙනෙකු කෙරේ සිත බැඳීම අරුමයක් නොවේ.. ඒත් මේ සම්බන්ධය මට තවමත් අරුමයකි. ඒ ඇයි දැයි කීමට වචන උපදින්නේ නැත.

කතරේ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

කතරේ වැලිකැටයක් පාසා හිරු සමඟ දැවෙමින් පැවැතීම සාමාන්‍ය දෙයකි. ඒ කවුරු දනී. කොටින්ම භූමියක් කාන්තාරයක් වන්නේ වනුයේ ද හිරුගේ රශ්මිය නිසාවෙනි. 

කාන්තාරයට වැසි වැටීම සම්මතය නොවේ. ඒත් ඒ කතරම, කලාතුරකින් අහම්ඹෙන් හෝ ඇද වැටෙනා වැස්සට ආස කරයි. ඒ තදින් වැළඳ ගන්නා බව ලොව නොදන්නා, නොදකින ඇත්තකි.



එලෙසම ගැහැනුන් පිරිමින් අතර ආලය සදාතනික ලෝක සම්මතය වුවත් ලොවට හොරෙන් වන ගැහැනියක ගැහැනියක අතර හෝ පිරිමියෙකු පිරිමියකු අතර වන ආදරයත් කිසිදා තහනම් කරනු බැරි සොඳුරු ආදරයක්මය.

සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳී එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුම වෙයි නුඹ නම්

සඳත් තරුත් අතර වන ප්‍රේමය සදාතනිකය. ඒත් මේ එක තරුවක් හෝ තරුපති වූ හිරුට පෙම් නොකරාවි යැයි කාටද කියන්න පුළුවන්. නෑ එහෙම වෙන්න පුළුවන්. මගේ ප්‍රේමයත් එවැනියි නුඹ කෙරේ වන්....නුඹවත් එයින් පුදුම කරවයි.

විරුද්ධ ලිංගිකයක් අතර ආදර සම්බන්ධකම් පැවැත්වීම තහනම් වූවක් හෝ අසම්මත වූවක් හෝ නොවෙයි. ඒ අරුමයකදු නොවේ. ඒත් සමාන ලිංගිකයකු කෙරේ කෙනෙකුට ආදරයක් ඇතිවීම විය හැකි සේම සම්මත ආදරය මෙන්ම ඒ ද සොඳුරු ප්‍රබල ආදරයක් බවත් යමුනා මාලනිය මේ ගී පද අතරින් පවසයි.

ගහක මල් පිපීම අරුමක් නොවේ...

සමලිංගික ප්‍රේමය ගැන කියවෙන තවත් ගීතයක් ලෙස කපුගේ සහ දිවුල්ගනේ ගයන 'රුවට රුවක් ඇදෙනවා' ගීතය ගැනත් කතා කරන්න පුලුවන්. මේක ලිව්වේ මහින්ද දිසානායක.

රුවක් ඇදෙනවා...කව්දෝ එනවා..
මීවිත ඇදිරිය දෑස වසනවා...
හද පොදි බැදි දුක දිය කර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා..

සොදුරු යොවුන් විය මල් මග මුල හිද
කිම තොල මී විත පොගවන්නේ...
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරාවකින් මා දෙතොල තෙමන්නේ

නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර අතින් දලු ලා එනවා...
අවන්හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා..

පිරිමි දෙදෙනකු ගයන මේ ගීතය අවසානයේ ලිංගික ආරාධනාවක් තියෙන්නේ..



ආදර මල් වල පාට කියන්නද

ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ

මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා

මීදුම තවරා සුළඟට
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සඳලියේ

දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා

සීතල හිම කඳු යාය පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා
දෙව්ලිය සිහිනෙක වැඩියා

කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප ලියනගේ ගයන ආදර මල්වල පාට කියන්ද ගීතය සම්බන්දයෙනුත් ඇතැම් විචාරකයන් මේ සමලිංගික ප්‍රේමයක් හා විෂම ලිංගික ප්‍රේමයක් අතර ගැ‍ටුමක් කේන්ද්‍ර කරගෙන ලියුවක් බවට අදහස් පල කරනවා. 

මේද පිරිමින් දෙදෙනකු විසින් ගායනාකරන නමුත් මේ ගීතය සංකීර්ණ අරුත් දනවන්නක් බැවින් මේ කියැවෙන්නේ සමරිසි ප්‍රේමයක් දැයි නිසැකවම තබා උපකල්පනයක් හෝ දිය නොහැකියි.

මේ ගීතයේ පද අතර ඇති 'දේදුණු' , සමලිංගිකත්වය සංඛේතවත් කරන දේදුණු වර්ණ ධජය හා පැටැලැවී තිබීමක් නිසා මේ සමරිසි ගීතයක් යැයි ඇතැම් අය නිසැක ලෙස අදහස් පල කළත් මේ තවදුරටත් විමසිය යුතු අපූර්ව ගීත නිර්මාණයක්...



ලංකාවේ විශේෂයෙන්ම රූපරචනයන් සහිතව ඉදිරිපත් කරනු ලබන බොහෝ ගීත නිර්මාණයන් වල තිබෙන පොදු ඛේදවාචයක් ගැනත් යම් සටහක් තැබිය යුතුයි. 

මොකද අපි අහන දකින ගී නිර්මාණවල රචකයන් ඇත්තටම ඒ නිර්මාණය මඟින් පවසන්නට තැත් කළ දේට වඩා හත්පසින්ම වෙනත් කතාවක් එම ගී රූපරචනයන් මගින් ඉදිරිපත් කරනවා. 

මේ නිසා ගීත රචකයන් අදහස් කළ දෑ විකෘත වෙලා. මේ නිසා රූප රචනා සහිතව ගී රසවිඳීමත් අද කාලයේ රසිකයන් නොමඟ යැවීමක් බවට පත්වෙලා.